අනුකරණය කළ නොහැකි විමතිය; තිලකසේන |
“2019දී මම පෑන බිම තිබ්බා.” හෙතෙම ඒ කීවේ තරමක් දීර්ඝ දුරකථන සංවාදයක් මැදකදීය. එතැන් පටන් මෙන්ම ඊට පෙර පෑන් අතට ගත් අයවලුන් බොහෝ මුත්…
අනුකරණය කළ නොහැකි විමතිය;
තිලකසේන |

Sketch: Supun Cooray
“2019දී මම පෑන බිම තිබ්බා.” හෙතෙම ඒ කීවේ තරමක් දීර්ඝ දුරකථන සංවාදයක් මැදකදීය. එතැන් පටන් මෙන්ම ඊට පෙර පෑන් අතට ගත් අයවලුන් බොහෝ මුත්, තිලකසේන මැවූ සාහිත්‍යමය විශ්වය මැවීමේ සමර්ථකමක් දක්නට නොතිබුණි. අජිත් තිලකසේන සතුව තිබූයේ සාහිත්‍ය විශ්වයකට වඩා අපූර්ව යමකි. ඔහු සතුව දමනය කරගත් වචන තිබුණා යැයි සිතන්නට කැමති මට, දැන් සිතෙන්නේ ඔහු සතුව තිබී ඇත්තේ වචන නොව රූප යනුවෙනි. අසුරු සැනින් ඔහු ඉදිරියේ ප්‍රාදූර්භූත වීමට පෙට්ටගම්, අල්මාරි, නැව් ආදිය පුරවා රූප තිබුණි. මේ රූප නටන්නට ගන්නේ තිලකසේන ඒවා යම් පිළිවෙළකට අසුරන්නට පටන් ගත් සැනිණි. යමකු යම් කවියක් හෝ කෙටිකතාවක් වටහා ගත්තා යැයි සිතා කටමැත දොඬවන්නට පෙර එකම කවිය හෝ කෙටිකතාව ස්ව කැමැත්තෙන් වෙනත් අරුතක් නිෂ්පාදනය කරන්නට පටන් ගනී. ඒ අරුතින් ගත් කල තිලකසේන යනු විජ්ජාකරුවෙකි. ඔහුව කියැවීම යනු කියවන්නාගේ දිග-පළල හෙළි වන්නකි. නූතන පාඨකයා මේ නිරුවත් වීමට රුචිද, එසේත් නැත්නම් මේ පැටලවීමේ ලාලසාව විසින් ඔවුන්ව කෝපයට හෝ ඉච්ඡා භංගත්වයට පත් කරනු ඇතිද? මේ යුගයේ පාඨකයා දැන් තීරණය කරන්නේ තිලකසේනගේ කෘතිවලට උඩින් පැන යාමද, එසේත් නැත්නම් ඔහුගේ මායාකර්මය සමඟ සටන් කිරීමද? ඔහු සතුව පවත්න මේ රූප විශ්වය, කවි සහ කෙටිකතා මත ඇවිදින ආකාරය වඩාත් සියුම්ව විශ්ලේෂණය කර බලනු වටී. එනිසා සැනින් ‘මොන තරම් අවුලක්ද’ කවි පොතට ඇතුළු වෙමි. දැන් මේ ඔහුගේ පෙට්ටගම්, අල්මාරි තුළ නිදා හුන් රූප; කවි දෙපදයක ආරම්භක රූප රාමුව රඟ දක්වන්නේ නොවේද? තිලකසේන අත වචන තැබීම කොතරම් භයානකද? භාෂාවේ කුඩාම ඒකකය සමඟ නිතර සෙල්ලම් දමන ඔහු විසින් එක් වචනයකට අවම රූප හය-හතක් නිෂ්පාදනය කිරීමේ සමර්ථකම දරන්නෙකි.
“ගඟ අද්දරදි ඔබ තරු නැති කරගත්තා ඉතින් පුලුවන්ද මට ඔබ වැලඳගන්න” -මොන තරම් අවුලක්ද-9 පිටුව
ඔබ ලියූ කවියක් ඒ අයුරින්ම පාඨකයා වටහා ගැනීම යනු කුමන ප්‍රමෝදයක්ද? පාඨකයාව ළඳරුවකු බවට පත් කර යමක් කියා දීමෙන් කුමන පලක්ද? කවියකින් නොකියන යමක් සොයාගැනීම හෝ ඉදිරියේ කියන්නට නියමිත දෙයක් සොයාගැනීම තරම් ආනන්දයක් තවත් තිබිය හැකිද? කවිය විසින් කවියාව අතහැර ඉදිරියට යන ගමනක් තිබිය යුතු යැයි හෙතෙම සිතුවා වන්නට ඇත. ඒවා කවිවලට වඩා රූප හෝ චලන චිත්‍ර අරුතින් මට දැනෙන්නේ එබැවින් විය යුතුය. එහෙත් මේ අපභ්‍රංශයට පාඨකයා කැමැති නැති වුවහොත් ඉරණම කුමක් විය හැකිද? බාගදා ඒ ඉරණම ජනකාන්ත ලේඛකයකු නොවීම විය හැකිය. එහෙත් ඔහුට ජනකාන්ත වී කුමන පල ප්‍රයෝජනයක්ද?

“මගේ රහස් අංකය ඔබ දැනගත්තා එහෙත් ඔබට බැහැ රාත්‍රිය වෙන්න” -මොන තරම් අවුලක්ද-10 පිටුව
කවියේ මාතෘකාව ‘ආදරය නොවන බව’ යි. මේ රූප සමහර විට ඔහුගේ නිවෙසේ සිවිලිම උඩ සඟවා තැබූ ඒවා විය හැකිය. ඒවා මෙතරම් අපට ආගන්තුක එනිසා වන්නට පුළුවන. කවි පේලි අතර දීර්ඝ ඉඩ තබමින්, හැකි නම් ඒවා අපට පුරවන ලෙසට ඉඟි කරමින් ඊළඟ පේලිය ලියන කවියා ඊට සතියක පමණ ඉඩක් අපට දී ඇත. රහස් අංක දැනගත් පමණින් රාත්‍රිය වනු නොහැකි නම් රහස් අංකයෙන් රාත්‍රියට පැමිණීමට දැන් ගණිත ගැටලුවක් විසඳිය යුතුද? මේ කවිවල සාරය කිසි විට පරිපූර්ණව ඔබට උරා බොනු නොහැක්කේ එහෙයිනි. සෑම විටම හිස්තැනක් හෝ අඩුවකින් කියවන්නාව අවුල් කර දැමීමට සමත්ය. ඔහු කවිය සමඟ කරන මේ විනෝද ක්‍රීඩාව මොන තරම් පාපකාරීද! අපට හවුල් වනු නොහැකි අතිශය රහසිගත ලෝකයක ඔහු විසින් තම කවිය රඳවා තබා එහි සුළු හෙවනැල්ලක් පමණක් අපට දැකීමට සලස්වයි. දැන් අපට සෙලවෙන පාලමක් උඩ සිට ‘එලඹෙන අගෝස්තුව’ට පැනීමට කාරණා යෙදී ඇත. “ඩහ්!” දැන් ඔබත්-මමත් එලඹෙන අගෝස්තුවේ.
“මට නිතර අමතන කත තෙත් තොඳොල් හඬ මට කියන්නෙ නෑ නම”
-එලඹෙන අගෝස්තුව-23 පිටුව
වඩාත් සෘංගාරවත් කවියක මුල් පේළිය ලිවීම තිලකසේනට පමණක්ම මෙතරම් පහසු මන්ද? ඔහු වචන දමනය කර ඇත්තේ නොවේද? මේ වචන මේ පිළිවෙළට ඔහු ඉදිරියේ පමණක් හැසිරෙන්නට රහසිගත ගිවිසුමක් නොතිබුණි යැයි කාට නම් කිව හැකිද? සරාගික කවි ලියන්නනි, මෙන්න ඔබේ ට්‍රේසින් කඩදාසිය. හනික විත් මේ මායාකර්මය උගනු! තිලකසේන විසින් සිදු කරන්නට යෙදුණ පුදුමය වටා තවත් බොහෝ දේ තිබෙන්නට ඇත. එහෙත් අපේ කුඩා දූපතට ඒ පුදුමය වැඩි බරකි. ඔහු උඩින් පැන යන්නට, මඟහැර යන්නට, නොතකා ඉන්නට තවමත් සිදුව තිබෙන්නේ මේ ‘වැඩි බර’ හේතුවෙනි. තිලකසේනගේ සාහිත්‍යයේ ඇති අනාගතකාමී ස්වරූපය කුඩා දේ අගයන දූපත්වාසීන්ගේ හිස රුදා ඇති කරන්නට ඇත. යුග කිහිපයක් එකම හුයකින් බැඳ තබන්නට ඔහු සමත්ව ඇත්තේත් පෙර කී අනාගතකාමී සාහිත්‍ය භාවිතය නිසාවෙනි. මේ යුග බන්ධනය කොතරම් අලංකෘත වුවත් තිලකසේන සාහිත්‍ය සාරය ඒ හැටියෙන් උරා බීම අතිශය දුෂ්කර කාරියකි. හේ අනුකරණය කළ නොහැකි විමතියකි.
“එක දෙයක් විතරක් මා වෙනුවෙන් කරන්න මගේ සිහිනවලට අත නොතබන්න” -එලඹෙන අගෝස්තුව-39 පිටුව
එක දෙයක් ඔහු වෙනුවෙන් කිරීමට ඔබට කොතරම් වෙහෙස මහන්සි වීමට සිදු වනවාදැයි සිහිනෙන්වත් සිතුවාද? අපට ඔහුගේ සිහිනවලට අත තිබීමට හැකිද? අපේ සිහින සහ ඔහුගේ සිහින අතර දුර වසරක්-දෙකක් හෝ ඊට වැඩි නොවේද? ඉතින් අපට ඔහුගේ සිහිනවලට අත පෙවීමට හැකිද? දැන් මම යෙදෙන්නේ තිලකසේනගෙ කවි පොත් අතරෙ ‘අහස්යාත්‍රා කොටු’ පැනීමක් වැනි ක්‍රීඩාවකි. ඊළඟට දුර පිම්මකින් ‘මාරියාව’ට පිවිසෙන්නේ දිගු දුර පිම්මකිනි. කවියෙ මාතෘකාව ‘මන්දා’.
“අපේ කසාදෙ කටුගාලා ගෙවුනු දෙවසර තුලදි අපි මුන ගැහුනා කීප විටක් කඩමණ්ඩියෙදි
*පාර පනිද්දි ඔබ එක වරක් මා දිහා බැලුවා අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට මම ඔහුව උස්සලා තිබ්බා පා පුවරුවෙන් උඩට ඉක්මනට ගැන්නෙන්න ඔබේ තුරුලට…………..
- මාරියාව-32 පිටුව*
මේ ආකාරයෙන් ගලාගෙන යන කවිය අතරමැද තැනකදී වෙඩි උණ්ඩයක් පත්තු කරන්නේ වෙඩි බෙහෙත් කෙටූ තුවක්කුවකිනි. “මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන් අරගෙනද මන්දා” ඔහුගේ කවි අතර වෙනස්ම හැඟීම් ඛණ්ඩනයක් සහිත කවිය මෙය විය යුතුය. සෙසු කවි සියල්ලේම පාහේ ඔහු යම් ගලා යෑමකට ඉඩ නොදී කවි තුළ විශාල හිස්තැන් තැබීමට වග බලා ගනී. නමුත් මේ කවිය ඇතුළත හිස්තැන් අවමය. ඔහු කවියට අඛණ්ඩව ගලාගෙන යෑමේ ‘විය නොහැකි බව’ට ඉඩ දී බලා සිටියි.
메타데이터
- post_id
- 06ee8792a4fc
- slug
- අනුකරණය-කළ-නොහැකි-විමතිය-තිලකසේන-06ee8792a4fc
- url
- https://medium.com/@moogater/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-06ee8792a4fc
- canonical_url
- https://medium.com/@moogater/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-06ee8792a4fc
- author_url
- https://medium.com/@moogater
- status
- ok
- fetched_at
- 2026-07-13 06:23:13