හතර බීරි කතාවක් — පළමු කොටස
ඩැනී පට්‍ටපල් කරුවලේ ජනේලෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඥානා අක්කලෑ කුස්සියෙ පැත්තට වෙන්න හේත්තු කරලා තියෙන අලි පත, දිරපු උළුවස්ස ළඟ හිටගත්තා…
හතර බීරි කතාවක් — පළමු කොටස

Picture: Gemini
ඩැනී පට්‍ටපල් කරුවලේ ජනේලෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඥානා අක්කලෑ කුස්සියෙ පැත්තට වෙන්න හේත්තු කරලා තියෙන අලි පත, දිරපු උළුවස්ස ළඟ හිටගත්තා. කවුරුත් තමංව දැක්කෙ නෑ කියලා හොඳටම සහතික කර ගත්තට පස්සෙ දෙහි ගහ යට හංගලා තිබ්බ අභ්‍යාවකාශ හෙල්මට් එක දාගත්තා. ඒකෙ උඩම තිබ්බ මොකක්ද ස්විච් එකක් ඕන කළා. මොනවදෝ ‘ජකං-බකං’ සද්ද වගයක් ඇහෙන්න ගත්තා. එයා හෙල්මට් එකේ යට පැත්තෙ තිබ්බ රෝදයක් කරකවලා ‘ජකං-බකං’ සද්දෙ නැතිකරගත්තා.
ඔන්න දැන් තලත්තෑනි ජපනෙක්ද කොහෙද එහා පැත්තෙන් කතා කරනවා ඇහෙනවා. ඒත් ඒ යකා කතා කරන්නෙ පිරිසුදු ජපං නෙවෙයි. හින්දි-ජපං මික්ස් එකක්. “ඩැනී සං…ඩැනී සං…ආප් කහා හේ?” ඩැනී සං ඒකට උත්තර දෙන්න මහන්සි නොවී අර පත උළුවස්සෙන් මාළුවෙක් වගේ ‘ජබොක්’ ගාලා ඇතුළට පැන්නා. ඊට පස්සෙ මැජික් එකක් වගේ නොපෙනී ගියා.
මම පැය ගානක් බලන් උන්නා. ඒත් ඩැනී ආයෙ ආවෙ නෑ. පාන්දර ජාමෙ මේසෙට ඔළුව තියන් අඩ නින්දෙ ඉන්නකොට ආයෙ අර ජපං-හින්දි මික්ස් සංවාදයක් හීනෙන් වගේ ඇහෙන්න ගත්තා. මම හනිකට ඇස් කළුවරට හුරු කරගත්තා.
ඩැනී ආයෙත් අර පත උළුවස්ස ඉස්සරහා හිටගෙන ඉන්නවා. මේ වතාවෙ එයා ඉන්නෙ උළුවස්සට පිටුපාලා. එයා හිස් අවකාශෙකට කතා කරනවා. විටින් විට අභ්‍යාවකාශ හෙල්මට් එකේ බොත්තම් ඔබනවා. “Ato ni-nichi hitsuyō na n desu kedo… daijōbu desu ka?” “අටෝ නී-නිචි හිට්සුයෝ නා න ඩෙසු කෙඩෝ….ඩායිජෝබු ඩෙසු කා බයිසාබ්?” “කොයිබාත් නහී ඩැනී සං.”
ඩැනී එයාට තව දවස් දෙකක් ඕනා කියලා ජපං-හින්දියෙන් කිව්වා. ජපනා හින්දියෙන්ම උත්තර දුන්නා, අනේ කමක් නෑ කියලා. ඊට පස්සෙ ඩැනී හෙල්මට් එක ගලවලා දෙහි ගහ යට හැංගුවා. පූසෙක් වගේ ආයෙ ජනේලෙන් රිංගලා ගේ ඇතුළට වැදුණා. ඒත් එක්කම මට ඇහුණා ඒ ගෙදර කවුදෝ ගිරිය යටින් කෑ ගහනවා.
“හොරෙක් හොරෙක්…. අල්ලපියෝ. හොරෙක් ජනේලෙන් පැන්නෝ.” “ඩැනී, මෙහෙට දුවලා වරෙං. මෙන්න හොරු ඇවිල්ලෝ. පොල්ලක් අරන් වරෙන්….” ඩැනී ආවෙ නැතැයි පොල්ලක් අරං එළියට. කෑලි පහේ ටෝච් එකක් අනිත් අතේ. හතර වටේ ගෙවල්වල පිරිමි ටිකත් සට-පට ගාලා වටවෙලා ජනේලෙන් පැන්න හොරා හොයන්න ගත්තා. එතකොට මං උන්නෙ කොස් ගහේ. එහා ගෙදර ජනපටාස් අයියා ගැහුවෙ නැතැයි ටෝච් එක කොස් ගහට. මෙන්න යකෝ මං ඉන්නවා ගහේ.
“බැහැපං ලබ්බෝ බිමට. හොරකමේ ඇවිත් කොස් ගස් උඩ හැංගෙන්න!! අද තොගේ ඇට කුඩුකරනවා.” “ජනපටාස්! අසභ්‍ය වචන කියන්නෙපා. මං වෘක්ෂ දේවතාවෙක්. මං අවුරුදු හයක් තිස්සෙ මේං මේ කොස් ගහේ ඉන්නෙ. තමුන් මට වැඳලා සමාව ගන්නවා හොඳයි.”
ජනපටාසයා එක තප්පරෙන් හීලෑ වුණා. “අනේ වෘක්ෂ දෙවියනේ මං කොහොමද ඔබ වහන්සෙගෙ කකුල් අල්ලලා වැඳලා සමාව ගන්නෙ? ඔබ වහන්සෙ වඩින්නකො බිමට.” “මට බිමට බහින්න කියන්න තෝ කවුද වෙසමුණියො? නැගපං බල්ලො ගහට. ඊට පස්සෙ වැඳපං.”
^මතු සම්බන්ධයි
메타데이터
- post_id
- 1e3b57bb10f6
- slug
- හතර-බීරි-කතාවක්-පළමු-කොටස-1e3b57bb10f6
- url
- https://medium.com/@moogater/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-1e3b57bb10f6
- canonical_url
- https://medium.com/@moogater/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-1e3b57bb10f6
- author_url
- https://medium.com/@moogater
- status
- ok
- fetched_at
- 2026-06-23 06:34:20