← Back to list

ඔයාගේ නැවත් MT New Diamond වගේ ගිනිගන්න කලින් කියවන්න

ලෝකයේ තෙල් නැව් වර්ග කීපයක්, තෙල් නැව්වල ඇති ආරක්ෂක පද්ධති කීපයක් සහ Virtual Reality යෙදවුම් මගින් නාවිකයන් සිදුකරන පෙර පුහුණුවීම්…

Yasas Sri Wickramasinghe · 2020-09-07 01:22 · 131 claps · 4.5 min read
#mt-new-diamond #fire-fighting-system #shipping #sinhala #marpol
Open on Medium ↗
Wiki topics: 🎮 · Gaming

ඔයාගේ නැවත් MT New Diamond වගේ ගිනිගන්න කලින් කියවන්න

ලෝකයේ තෙල් නැව් අනතුරු නිසා සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අතිමහත්. අපි හිතනවාටත් වඩා කාලයක් ඒ හානිය පවතින අතර 1970 කාලයේ පටන් මෙවැනි අනතුරු වාර්තාවෙනවා. නාවික තාක්ෂණයේ දියුණුවත්, ලෝක පරිසරවේදීන්ගේ සහ සංවිධානවල මැදිහත් වීමත් සමග තෙල් නැවු අනතුරු ප්‍රවනතාවේ අඩුවීමක් දක්නට ලැබුනත්, ඉඳ හිට උනත් සිදුවන මහා පරිමාණයේ තෙල් නැව් අනතුරු නිසා සිදුවන සමුද්‍රීය තෙල් කාන්දුවීම් සුළුවෙන් තකන්නටනම් කොහෙත්ම පුළුවන්කමක් නැහැ.

ලෝකයේ අධික ඛනිජ තෙල් පරිභෝජනය නිසාම ලෝකයේ තෙල් ප්‍රවාහනයට නැව් යොදාගන්නට එක ප්‍රධානතම හේතුවක් තමයි නාවික ප්‍රවාහන මාධ්‍යය අනෙත් ප්‍රවාහන මාධ්‍යයන්ට වඩා සාපේක්ෂව වියදමින් අඩුවීම.

තෙල් ප්‍රවාහනය කරන නැව් වර්ගීකරණය කරන ප්‍රධාන ආකාර 2ක් තියෙනවා.

  1. නැවේ ප්‍රමාණය අනුව වර්ග කිරීම
  2. නැවේ ආකෘතිය අනුව වර්ග කිරීම

තෙල් ප්‍රවාහනය කරන නැව්, ඒවල ප්‍රමාණය අනුව වර්ග කරද්දී බහුලව දකින්න තියෙන ආකාර 2ක් තියෙනවා.

  • VLCC (Very Large Crude Carrier)
  • ULCC (Ultra Large Crude Carrier)

මේ දවස්වල කතාවෙන MT New Diamond නැව, එහි ප්‍රමාණය අනුව වර්ගීකරණය කරොත් අයිති වෙන්නේ VLCC (Very Large Crude Carrier) කියන වර්ගයට. මේ වර්ගයේ නැවකට සාමාන්‍යයෙන් තෙල් මෙට්‍රික් ටොන් 200,000ක් වගේ එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ වගේ අතිවිශාල තෙල් ප්‍රමාණයක් ගෙනියන මේ වගේ නැවක් මොන වගේද කියල පොඩ්ඩක් හොයල බලමු.

ඒත් එක්කම, නැව්වල ආකෘතිය අනුවත් වර්ගීකරණයක් කරනවා කිව්වනේ. ඒ අනුව බලනවානම් ප්‍රධානව වර්ග 2ක් දැකගන්න පුළුවන්.

  • Single Hull
  • Double Hull

මේ hull එක කියන්නේ නැවේ බඳ කොටසට. Single Hull වර්ගයේ නැව්වල බඳ කොටසට වඩා Double Hull වර්ගයේ නැව් ශක්තිමත්බවෙන් සහ ආරක්ෂාකාරීබවෙන් වැඩියි. MT New Diamond නැව Double Hull වර්ගයේ එකක් කියල තමයි දැනගන්න ලැබුනේ. අවුරුදු 20කටත් වඩා පරණ නැවක් උනත්, මේ නැව Double Hull වර්ගයේ තිබීම යම්තාක් දුරකටවත් හොද දෙයක්.

තෙල් නැවක බඳෙහි හරස්කඩක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

තෙල් නැවක බඳෙහි හරස්කඩක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

බඳ කොටස ශක්තිමත් කරනලද Double Hull ආකෘතියේ තෙල් නැවක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

බඳ කොටස ශක්තිමත් කරනලද Double Hull ආකෘතියේ තෙල් නැවක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

මේ වගේ අතිවිශාල නැවක් ටොන් ගණන් තෙල් අරන් නිකන්ම මුහුදේ යාත්‍රා කරන්නේ නැහැ. පරණ නැවක වුවත් විවිධ ආරක්ෂක පද්ධති රැසක් තියෙනවා නැවේ කාර්ය මණ්ඩලයේ සහ නැවේ ගෙනියන ද්‍රව්‍යවල ආරක්ෂාවට. කෙසේ නමුත් අලුත් නැව්වල තාක්ෂණය ඉතාමත්ම ඉහළයී.

පොදුවේ, තෙල් නැවක පවතින පද්ධති කිහිපයක් හොයලා බලමු.

  • Cargo Oil Heating System: බොරතෙල්වල ඝනත්වය පරිසර උෂ්ණත්වයට ගොඩක් සංවේදී නිසා මේ පද්ධතිය ඉතාම වැදගත්. විශේෂයෙන්ම අඩු උෂ්ණත්වවලද බොරතෙල් ඝනවෙලා බටවල හිරවෙන්න පුළුවන්. තෙල්වල උෂ්ණත්ව පාලන පද්ධතිය නිසා බොරතෙල්වල ඝනත්වය නිශ්චිත අගයක පවත්වාගෙන යන්න පුළුවන්වෙලා තියෙනවා.
  • Cargo Tank Venting System: අත්දැකීමෙන් ඔබත් දන්නවා ඇති, බොර තෙල් කියන්නේ වාෂ්පශීලි ද්‍රව්‍යයක්. මේ වාෂ්ප හරිහැටි පාලනය නොකලොත් ඒවා එකතුවෙලා ගිනිගන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ අවධානම පාලනය කරන්න තමයි මේ පද්ධතිය වැදගත් වෙන්නේ.
  • Overflow Control System: නැවේ තෙල් ගබඩා කරන්න වෙන වෙනම ටැංකි හදල තියෙනවා. මේ තෙල් ගබඩා කරන ටැංකිවලට තෙල් පුරවන සීමාවක් පවත්වාගන්නවා. තෙල් පුරවද්දී හෝ කුමන හෝ විදියකට තෙල් ප්‍රසාරණය වෙලා මේ සිමාව ඉක්මවා ගියොත් එය පාලනය කරන්න මේ පද්ධතිය ක්‍රියාකරනවා.
  • Inert Gas System: මේ පද්ධතිය මගින් සිදුකරන්නේ තෙල් ටැංකි සහ නැවේ බඳ කොටස අතර ඇති හිස් අවකාශයට නිෂ්ක්‍රිය වායු පුරවා ගින්නක් හටගැනීමට ඇති තවත් එක අවධානමක් අවමකර ගැනීම. මෙසේ ටැංකි අතර අවකාශ පිරවීමට ආගන් සහ කාබන් ඩයොක්සයිඩ් බහුලව භාවිතා කරනබවකියවෙනවා. එමගින් ඔක්සිජන් වැනි දහන පෝෂක වායුවලින් තෙල් ටැංකි අවධානමට ලක්වීම අවමවීමසිදුවෙනවා.
  • Fire Fighting System: ඉහත සඳහන් කළ සෑම පද්ධතියක්ම පාහේ ගින්නක් ඇතිවීමේ අවධානම අඩු කිරීම සඳහා පවතින අතර මෙම පද්ධතිය ගින්නක් ඇති වූ විට ගින්න පාලනය කිරීම සඳහා ක්‍රියාකරයි. මේ පද්ධතිය ගිනි නිවන උපකරණ, එන්ජින් කාමරයට කාබන් ඩයොක්සයිඩ් පුරවන උපකරණ, විවිධ ගිනි සහ දුම් සංවේදක රැසකින් සමන්විතයි. වඩාත්ම වැදගත් කාරණාවනම්, සෑම තෙල් ප්‍රවාහන යාත්‍රාවක්ම MARPOL උපදෙස්වලට අනුකූලව මෙවැනි ගිනි ආරක්ශක පද්ධතියකින් සමන්විය යුතුවීමයි.

MARPOL සම්මුතිය (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

MARPOL සම්මුතිය (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

මොකක්ද මේ MARPOL සංග්‍රහය කියන්නේ?

නාවික යාත්‍රා නිසා සිදුවන සාගර පරිසර පද්ධති දුෂණය වලක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික එකගතාවය (MARPOL) මගින් නාවික ක්ෂේත්‍රයේ පාරිසරික බලපෑම නියාමනය කරයි. නාවික යාත්‍රා අනතුරු මගින් පරිසරයට සිදුවන බලපෑම් මෙමගින් අවම කරගැනීමට විවිධ නියාමනයන් බලගන්වා තිබේ. 1973 වසරේ පිහිටුවූ මේ සම්මුතියේ විවිධ නාවුක කටයුතු වෙනුවෙන් වෙන වෙනම රෙගුලාසි ඉදිරිපත්කර ඇත.

දැන් තරමක් දුරට ඔබට වැටහීමක් ඇති මහා සාගරයේ යාත්‍රාකරන තෙල් ගෙනියන විශාල නැවක් අනතුරකට පත්වෙන්න විශාල අවධානමක් තිබුනත් එය අවම කරගන්නටත් විවිධ ක්‍රියාමාර්ග ඒ නැවේම පවතින බව. ඒ වගේම තමයි, නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයට අවධානම් වෙලාවක ඉතාමත් වගකීමෙන් කටයුතු කිරීමට විවිධ ක්‍රියා පටිපාටි පවතිනවා. නාවික ක්ෂේත්‍රයේ MUSTER LIST නමින් හඳුන්වන ක්‍රියාපටිපාටිය මින් එක් අවස්ථාවක්.

MUSTER LIST (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

MUSTER LIST (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

කොයිතරම් ආරක්ෂක පද්ධති තිබුනත්, කොයිතරම් ආරක්ෂක ක්‍රියා පටිපාටි තිබුනත් නැවේ කාර්යමණ්ඩලය අනතුරක් අවස්ථාවකදී හෝ අවධානම් අවස්තාවකදී ක්‍රියාකරන ආකාරය ඉතා වැදගත්. Mt New Diamond සිදුවීම පිලිබඳ එක්තරා රුපවාහිනී වැඩසටහනක කියවුණු පරිදි ඒ නැවේ කපිතාන් අතින් යම් යම් අතපසුවීම් සිදුවී තිබෙනවා. උදාහරණයක් ලෙස, නැව ගින්නෙන් වළක්වාගත නොහැකිම අවස්ථාවක පමණක්, නැව අත්හැර දැමීමේ ක්‍රියා පටිපාටිය(Abandon Ship) සිදුකළ යුතු අතර එහිදී වෙනත් නැවකට අනතුරට පත්වූ නැව ඇදගෙනයාම සඳහා ඉදිරිපස සහ පහුපස ආධාරක විවෘත කලයුතු වෙනවා. එසේ කිරීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අනෙකුත් ගිනි නිවීමේ යාත්‍රාවලට යම් අපහසුතාවලට මුහුණදීමට සිදුවූබව කියවුනා.

අවදානමට පෙර සුදානම මගින් වෙවැනි දේ වළක්වා ගන්න උත්සාහකල හැකිවුවත් අවදානමට පෙර අවදානම් තත්ත්වක් නිර්මාණය කිරීම සෑහෙන දුරට අභියෝගයක්. කෙතරම් පුහුණුවීම් තිබුනත්, අවධානමක් ඇත්තටම දැනුන අවස්ථාවක මනස ක්‍රියාකරන විදිය වෙනස් වෙන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා.

මෙන්න මේ දේ සාර්ථකව විසඳගන්න තොරතුරු තාක්ෂණය සැහෙන දුරට පිටිවහලක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම Virtual Reality තාක්ෂණය මගින්. මෙහිදී නාවික කාර්යය මණ්ඩලයට Virtual Reality යෙදවුමක් හරහා කෘතිමව අවධානම් අවස්ථාවක් නිර්මාණය කිරීම මගින් ඇත්තටම එවැනි අවස්ථාවක් හා සමාන සිතුවිල්ලක් ඇතිකරනු ලබනවා.

Virtual Reality යෙදවුමක් සහ එය භාවිතාකරන අවස්ථාවක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

Virtual Reality යෙදවුමක් සහ එය භාවිතාකරන අවස්ථාවක් (මුලාශ්‍රය :අන්තර්ජාලය ඇසුරින් )

නාවික ක්ෂේත්‍රයේ Virtual Reality පාදක කරගත් ආරක්ෂක පුහුණුවීම් ඉතාමත් වේගයෙන් ව්‍යප්තවෙන අතර එමගින් වඩා ඵලදායි පෙර සුදානමක් නාවිකයින්ට ලබාදෙනවා.

මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ Mt New Diamond තෙල් නැවේ කතාවත් එක්ක අපි නොදන්න තෙල් නැව් ගැන සරලව යම්තාරමක් විස්තර ගෙනෙන්න. මමත් මේ විස්තර එකතු කරගත්තේ අන්තර්ජාලය මුලාශ්‍ර කරගෙන. වැඩිදුර කියවන්න සමහර මුලාශ්‍ර පහතින් සඳහන් කරන්නම්.

ඒ වගේම, Virtual Reality තාක්ෂණය මගින් එදිනෙදා ජිවිතයේ කටයුතු කාර්යක්‍ෂම කරගන්න විදි සහ, මේ තාක්ෂණය කෙතරම් බලසම්පන්නද කියන එක සරලව දැනගන්න කැමතිනම් කියන්න. මේ ලිපිය ගැනත් ඔබේ අදහස් සටහන් කරනවානම් බොහොම සතුටුයි.

වැඩිදුර කියවීම් :

[embed]Understanding Design Of Oil Tanker Ships Tankers have been one of the oldest types of merchant ships; the need for these vessels arising due to heterogeneous…www.marineinsight.com

[embed]K-Sim Safety K-Sim Safety is a simulation system specifically made for practice management and execution of procedures for…www.kongsberg.com

[embed]


메타데이터
post_id
5f1fc1e06c6d
slug
ඔයාගේ-නැවත්-mt-new-diamond-වගේ-ගිනිගන්න-කලින්-කියවන්න-5f1fc1e06c6d
url
https://medium.com/@yasassri/%E0%B6%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-mt-new-diamond-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-5f1fc1e06c6d
canonical_url
https://medium.com/@yasassri/%E0%B6%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-mt-new-diamond-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-5f1fc1e06c6d
author_url
https://medium.com/@yasassri
status
ok
fetched_at
2026-07-28 20:31:20