අන්ජන් සුන්දරම් ගෙනා නරක ආරංචිය |
“පුළුල් පාර මාව ගිලගත්තා වගේ දැනුණා. කඳු බෑවුමට උඩින් ව්‍යාකූල වේගයකින් වාහන ගියා. සෝඩියම් වාෂ්පවල තැඹිලි ආලෝකයෙන් නෑවුණ පදික වේදිකාවේ…
අන්ජන් සුන්දරම් ගෙනා
නරක ආරංචිය |

*“පුළුල් පාර මාව ගිලගත්තා වගේ දැනුණා. කඳු බෑවුමට උඩින් ව්‍යාකූල වේගයකින් වාහන ගියා. සෝඩියම් වාෂ්පවල තැඹිලි ආලෝකයෙන් නෑවුණ පදික වේදිකාවේ මිනිස්සු ඝෝෂා කරමින් ඇවිදිනවා ඇහුණා. බෝම්බයෙන් පස්සෙ නොනවතින ‘ටික්–ටොක්’ ශබ්දයක් මගේ මනස ඇතුළෙ ගැහෙමින් තිබුණා.”
- බෑඩ් නිවුස්: ලාස්ට් ජර්නලිස්ට් ඉන් ඩික්ටේටර්ෂිප් -01 පිටුව ‘බෑඩ් නිවුස්’ පටන් ගැන්මේම ඇත්තේ ‘නරක ආරංචියකි’. ඒ දෙනෝදහක් ගමන් ගන්නා මාර්ගයක ග්‍රෙනේඩයක් පුපුරා යාමත්, එසැනින් මාර්ගය පිරිසුදු කර කිසිවක් නොවුණා සේ හැසිරෙන්නට බල කරන ආකාරයයි. “සුබ සන්ධ්‍යාවක්! මෙතන මොකක් හරි පිපිරුණාද?” “මොකක්?” “පිපුරුම් සද්දෙ. මට ඒක ඇහුණනේ කන්ද පහළ ඉදන්ම.” “නෑ. නෑ. ඔයා දේවල් හිතින් මවාගෙන.”*
ඒ පොලිස් නිලධාරියාගේ පිළිතුරයි. මේ රුවන්ඩාවේ ‘කිගාලි’ ටවුමේ සාමාන්‍ය දිනයක ස්වරූපයයි. කථා නායකයා පසුව විස්තර කරන්නට යෙදෙන්නේ ඒ ශබ්දය ග්‍රෙනේඩයක් පුපුරා යාමක් බවයි. ඊට අමතරව එහි ඡායාරූප කීපයක් ගැනීමට ද මාධ්‍යවේදියකු සමත්ව ඇත. එහෙත් පොලිසියේ උකුසු ඇසට හසුව ඔහුට දළ සේයා පටය පූජා කිරීමට සිදුව ඇත. අවසානයේ ඒ පුපුරා ගිය ග්‍රෙනේඩය සාක්ෂි නැති ආරංචියක් පමණි. යුද පුවත් වාර්තාකරුවකු සහ ලේඛකයකු වන අන්ජන් සුන්දරම්ගේ දෙවැනි කෘතිය වන ‘බෑඩ් නිවුස්: ලාස්ට් ජර්නලිස්ට් ඉන් ඩික්ටේටර්ෂිප්’’ නිකුත් වූයේ 2016දීය. දිනපතා පුවත්පතක අහම්බෙන් දකින පුවතක් හේතුවෙන් ඔහු කොංගෝව බලා යන්නේ වන්වේ ටිකට්‍ටුවකිනි. කොංගෝවට ගොඩබැසීමෙන් අනතුරුව හෙතෙම හිස්ව තිබූ මාධ්‍යවේදී තනතුරක් සඳහා ඉල්ලුම් කිරීමට තීරණය කරයි. *“ඒක ඉරිදාවක්. හවස 02ට විතර කර්තෘ මට දුරකථනයෙන් කතා කළා. ඔහු ඇහුවේ ඔයා කවුද? කවුරු මෙහෙම කොංගෝවට එනවද? වගේ ප්‍රශ්න විතරයි. වන් වේ ටිකට් එකක් අරගෙන, අවුරුදු 22ක කොල්ලෙක් යුද්ධෙ වාර්තා කරන්න අප්‍රිකාවට ඒවි කියලා ඔහු විශ්වාස කළේ නෑ. ඔහු මාව පරිවාස කාලයකට යටත්ව සේවයට බඳවා ගත්තා. නිදහස් යුද වාර්තා මාධ්‍යවේදියෙක් වීම රළු, අමාරු වැඩක්. එක වචනෙකට ගෙව්වේ සත දහයයි. ඒ නිසා ලිවීමෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න සෑහෙන්න අමාරු වුණා. ……..මම රුවන්ඩාවට ගියේ කොංගෝ පොත ලියන්න. ඒ වෙනකොටත් පොතේ අවසානයට ළං වෙලයි උන්නේ. ඒ වෙනකොට මගේ අලුත් නවකතාව ලියන්නත් සූදානමකින් හිටියේ. ඒ පසුබිම යටතේ තමයි රුවන්ඩාවෙ මාධ්‍යවේදීන්ට උගන්නන්න ගියේ.”
- ගාලු සාහිත්‍ය උළෙල-2017*

මේ ඒ ඉගැන්වීමේ අග්‍රපලයයි. රුවන්ඩාවේ දේශපාලන වාතාවරණය සහ මාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳ ඔහු පවසන්නට යෙදෙන කතාන්දරය ඇතුළත ගින්දර සහිතය. රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමා උන්නේ රැස්වීමක් අමතමිනි. “එයා උස, කෙසඟ මිනිහෙක්.” ඒ ජනාධිපතිගේ හැඩරුව විස්තරයකි. “ජනාධිපතිවරයා කථා කළේ සෙමෙනි. ඔහුගේ කටහඬ කුරුල්ලෙකුගේ මෙන් තියුණුය.” කුඩා දරුවකුව සිටියදී උගන්ඩාවට පැන යාමට සිදුවුණ කගාමා, නැවත රුවන්ඩාවට විත් සටන් කොට බලය ලබාගනී. ඒ, 1994 කුප්‍රකට සමූල ඝාතන සමඟිනි. ඒකාධිපතියකු බිහි වන්නේ ඉන් පසුවය. බලය පිළිබඳ චිත්‍රය කගාමාගේ මනසේ ඇඳෙන්නේ වයස තුනක දරුවකුව ජීවිතය බේරා ගැනීමට උගන්ඩාවට යෑමේ ත්‍රාසජනක ගමන සමඟ විය යුතුය. ක්‍රෑරත්වය කොතරම්ද යත් පසුකාලීනව කගාමා විසින් තමන්ගේම හමුදාවේ සෙබළුන් ඝාතනය කර දමයි. ඊට ‘කුෆානියා’ යැයි කදිම නමක්ද ඔහු විසින් දී තිබුණි. ඔහු නියෝජනය කළ රුවන්ඩා ප්‍රභූ සමාජය එනම් ටුට්සි ගෝත්‍රය සහ කම්කරු සමාජය එනම් හුටූ ගෝත්‍රය අතර පැවැති මේ කඹ ඇඳීම කුප්‍රකට රුවන්ඩා සමූල ඝාතනවලට මූලික විය.
“දින සියයක් ඇතුළත අට ලක්ෂයක් මරා දමා තිබුණි. එය නාසි හමුදාව කළ සමූල ඝාතනවලට පවා අසමසමය. වඩා වේදනාකාරී, ඔවුන්ව මරා දමා තිබුණේ වෙඩි උණ්ඩවලින් නොව මන්නා, පිහිවලින් වීමයි.” -08 පිටුව මෙවන් වාතාවරණයක රුවන්ඩාවේ මාධ්‍යවේදීන්ට වාර්තාකරණය, තොරතුරු ගවේෂණය සහ පුවත් ලිවීම ඉගැන්වීම අතුරේ යෑමට තැත් කිරීමකි. සියලු රාජ්‍ය මාධ්‍ය විසින් ජනාධිපති වර්ණනා කිරීමටත්, විකල්ප මාධ්‍ය මර්ධනය කිරීමටත් අරඹා තිබුණි. ඒ හා සමගාමීව සෙසු මාධ්‍යවේදීන්ව නම්මා ගැනීමේ ව්‍යාපාර සහ බිය ගැන්වීම් නොඅඩුව දකින්නට ලැබුණි. එවකට රුවන්ඩාවේ වඩාත් ජනප්‍රිය නිදහස් පුවත්පත වූයේ ‘උමුසේසෝ’යි. එය පැය කීපයක් ඇතුළත උණු කැවුම් මෙන් විකිණෙයි. ඉන්පසු මිලදී ගන්නට ඇත්තේ එහි ෆොටෝ කොපි ය. ඒ වන විටත් උමුසේසෝ පුවත්පතේ මාධ්‍යවේදීන්ට දැඩි ජීවිත අවදානම් තිබුණි. අතොරකට රටින් පළා යෑමට සිදු විය. සෙසු අය උන්නේ සැඟවීය. “මම, අවුරුදු ගණනකට කලින්ම දෙවියන් මැරිලා කියලා තේරුම් ගත්ත එකත් ඒකට හේතුවක් වෙන්න ඇති.” -11 පිටුව ඒ උමුසේසෝ පුවත්පතට ලිපි සපයන ගිබ්සන් දේවල් ලෙහන ආකාරයයි. “මිනිස්සු ජෙනරාල්ගේ නම උච්චාරණය කරන්න බය වුණා. වීදිවල, බාර්වලදී ඔහු ගැන කතා කළේ ‘ලූයි’, (ඔහු) කියලා, නැත්නම් ‘ව මූගාබෝ’ (ඒ මනුස්සයා) කියලා.” -47 පිටුව ඒ, හැරී පොටර්හි ‘වොල්ඩමෝට්’ගේ නම කීමට බය වන්නාක් සිහිපත් කරන්නකි. බිය යනු මිනිසා විසින් නිෂ්පාදනය කරන්නක් මිසෙක ඕපපාතිකව ඇතිවන්නක් නොවේ. ඒකාධිපතියකුට අවශ්‍ය වන්නේ තමන් නිෂ්පාදනය කළ බිය සමඟ වහලුන් බිහි කිරීමයි. ඒ පසුපස බලය තමන් වෙත ළඟා වන බව ඔවුන් දනී. *“අපි දුප්පත් මිනිස්සු, අපි හරියට ආලෝකයට බය කෘමීන් වගෙයි. ආණ්ඩුවට ඕනේ අපිව හැම තිස්සෙම දකින්න ඒත් අපි ඉන්නෙ හැංගිලා.” -50 පිටුව “ඕනෑම අපරාධයක් පාපොච්ඡාරණය කරවීමට බලධාරීන්ට හැකි විය. එසේම ඕනෑම කෙනෙකු ලවා ඕනෑම දෙයක් කියැවීමට ද ඔවුන්ට හැකිය.”
- 76 පිටුව “ අපි මේ රට ඇතුළේ මිනිස්සු විදිහට ඉන්නවද කියලවත් දන්නෑ. අපි තනි මිනිස්සුත් නෙවෙයි, අපි ආණ්ඩුවේ ඒජන්තයෝ.”
- 93 පිටුව “එයාලා පාරවල් හදන්න කියනවා. අපි හදනවා. එයාලා මරන්න කියනවා. අපි මරනවා. අපිට ඕනකරන්නේ නියෝගයක් විතරයි….” -92 පිටුව*

තත්ත්වය කොතරම් බරපතළ වන්නට ඇතිද? පීඩාවේ පරිමාව මැනීමේ ඒකක එකල ඔවුන් සතුව නොතිබෙන්නට ඇත. ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් කීටැග්, කණ්ණාඩි, තොප්පි විය. යුද්ධ කාලයේ භාවිත කෙරුණු ආදර්ශ වැකි රේඩියෝවේ ප්‍රචාරය කෙරුණි. පාසල් වයසේ දරුවන් වීදි පුරා දුවමින් සාම්ප්‍රදායික රුවන්ඩානු ගී ගයන්නට විය. ඒ ගීතවල ‘ජීසස්’ යන්න වෙනුවෙට ‘කගාමා’ යන්න යොදා ගායනා කෙරුණි. ඒ වන විට රුවන්ඩාවේ ජනමාධ්‍ය මිය ගොසිනි. එහි උපරිමයට ළඟාව තිබුණේ ජනාධිපතිවරණය ආසන්නයේදීය. කගාමා නැවත ජයග්‍රහණය කර තිබුණි. ඡන්ද ප්‍රතිශතය 93%කි. *“මේ පොත ලිව්වේ සාධාරණයක් සිද්ධ වෙන්න ඕනා බව ලෝකෙට මතක් කරන්නයි. මේ වගේ භයානක වාතාවරණයක් ඇතුළෙත් නොනැමුණු, කොදු කඩා නොගත්ත මාධ්‍යවේදීන් හිටියා. මං ඒ අයව හරිම ආදරෙන් මතක් කරන්නේ. කතා කරපු, විරුද්ධ වෙච්ච සුළුතරය අපි බොහොම ආදරෙන් සමරන්න ඕනා කියලා මම නිතරම හිතුවා. ඒ සියලු කාරණාවලට විරුද්ධව මම කරපු සටන තමයි මේ පොත. අපි, අපේ මිනිස්කම රැකගෙන ඉන්න තාක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කුඩා ආලෝකය කවදාවත් නැතිවෙන්නෑ.”
- ගාලු සාහිත්‍ය උළෙල-2017 ‘බෑඩ් නිවුස්’ අවසානයේ අතුරුදන් වූ, ඝාතනය කළ, සදාකාලික රෝගී වූ මෙන්ම මවුරට හැරදා යන්නට සිදු වූ මාධ්‍යවේදීන්ගේ නම් 60කි. එහෙත් රුවන්ඩාවේ ජනපති තම ජනතාවට පවසන්නේ, “සුවෙන් නිදන්න” *කියාය.
메타데이터
- post_id
- f92c11e09b91
- slug
- අන්ජන්-සුන්දරම්-ගෙනා-නරක-ආරංචිය-f92c11e09b91
- url
- https://medium.com/@moogater/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA-f92c11e09b91
- canonical_url
- https://medium.com/@moogater/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA-f92c11e09b91
- author_url
- https://medium.com/@moogater
- status
- ok
- fetched_at
- 2026-06-23 06:34:20